Tuesday, March 5, 2019

How to choose a Good Domain Name for your Organisation



By: Thanoja Rajapaksha- Domain Registration Officer, 
LK Domain Registry




ගැලපෙනම වෙබ් ලිපිනය තෝරා ගනිමු - 

ITN Digital with Domains.lk


 
අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සංවිධානය/ආයතනය සඳහා හොඳ/පරිපූර්ණ වසම් නාමයක් තෝරා ගන්නේ කෙසේද කියායි.

·        මුලින්ම අපි බලමු වසම් නාමයක් එසේත් නැතිනම් Domain name එකක් යනු කුමක්ද කියා.
වසම් නාමයක් එසේත් නැතිනම් Domain name එකක් කියන්නේ වෙබ් අඩවියට ඒ කියන්නෙ Web Site එකට පිවිසීමට වෙබ් බ්‍රව්සර ලිපින තීරුවකට ඇතුල් කරන ලිපිනයයි. එය ඔබගේ වෙබ් අඩවියෙහි අනන්‍යතාවය වෙනවා.

·        වෙබ් අඩවියක් එසේත් නැතිනම්  Web site එකක් අවශ්‍යමද?
ඇත්තෙන් ම අද වන විට ව්‍යාපාර අවශ්‍යතා සඳහා නැතිවම බැරි දෙයක් බවට වෙබ් අඩවිය පත්වී තිබෙනවා. ව්‍යාපාර අනන්‍යතාවය ආරක්‍ෂා කර ගැනීම, භාණ්ඩ හා සේවා ලබා දීම, සංවිධානය සඳහා ආධාර ලබා ගැනීම මෙන් ම තම ආයතනය ගැන අනෙක්  අයව දැනුවත් කිරීම සඳහා අත්‍යවශ්‍යම අංගයක් බවට පත් වී තිබෙනවා.

·        මුලින්ම ඔබ සුදුසු ප්‍රමුඛ පෙළේ වසම් නාමයක් ඒ කියන්නේ Top Level Domain (TLD) එකක් තෝරා ගන්න ඕනා.

ප්‍රමුඛ පෙළේ වසම් නාම කිහිපයක් හඳුන්වනවා නම්:

.com: වාණිජ්‍යය වෙබ් අඩවි සඳහා
.info: තොරතුරු වෙබ් අඩවි සඳහා
.net: තාක්ෂණික, අන්තර්ජාල යටිතල පහසුකම් වෙබ් අඩවි සඳහා
.org: වාණිජ නොවන සංවිධාන සහ ලාභ නොලබන ව්‍යාපාර වෙබ් අඩවි ආදිය දක්වන්න පුළුවන්. 

·        ඒ වගේ ම රටෙහි අනන්‍යතාවය තහවුරු කරන ප්‍රමුඛ පෙළේ වසම් නාම ද තියෙනවා.

.in      - ඉන්දියාව
.au      - ඕස්ට්‍රේලියාව වගේ ම
.lk - ශ්‍රී ලංකාව - ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරන .lk වසම් නාම ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ LK Domain  Registry  ආයතනය  මගිනි.

දැන් අපි බලමු පරිපූර්ණ domain name එකක් තෝරාගන්න උවමනා මූලික අංග කිහිපයක්..

1. පහසුවෙන් ලිවිය හැකි විය යුතුයි
ටයිප් කිරීමට පහසු නාමයක් සොයා ගැනීම ඉතා වැදගත් වන්නේ අන්තර්ජාල සාර්ථකත්වය සඳහායි.

2. කෙටි විය යුතුයි
ඔබේ වසම් නාමය දිගු හා සංකීර්ණ නම්, ගනුදෙනුකරුවන්ව අවුල් සහගත තත්ත්වයකට පත්වෙනවා.  කෙටිබව හා සරල බව වසම් නාමයකට ඉතා ම සුදුසු කරුණුයි.

3. මතක තබා ගැනීමට පහසු විය යුතුයි
ඩොමේන් නාමයන් මිලියන ගණනක් තිබෙන නිසා, එය ලස්සන හා මතක තබා ගත හැකි වසමක් වුනොත් ඉතා හොඳයි.
ඒත් ඔබ you වෙනුවට u හෝ express වෙනුවට xpress භාවිතා කරනවා නම්, ගනුදෙනුකරුවන්ට ඔබේ වෙබ් අඩවිය සොයා ගැනීමට අපහසු වෙන්න පුළුවන් බව මතක තබා ගත යුතුයි.

4. අංක හා hyphens යෙදීමේදී සැලකිලිමත් විය යුතුයි
අංක සහ හයිෆන්ස් බොහෝ විට වැරදියට වටහාගැනීම සිදුවෙන්න පුළුවන්. ඔබ ඔබේ වසම් නාමය සඳහා පහේ ඉලක්කම භාවිතා කරන්නේ නම් ඔබේ වෙබ් ලිපිනය අසන්නන්හට ඔබ සංඛ්යාංකය (5) භාවිතා කරන්නේද නැත්නම් එය අර්ථකථනය කරන්නේද (five) යන්න ගැටළුවක් විය හැක.
එලෙසම ඩෑෂ් අමතක කිරීම හෝ අමතක වීම සිදු  විය හැකිය.

5. ඔබගේ ව්‍යාපාර ස්වභාවය ආවරණය විය යුතුයි
ඔබේ ව්‍යපාරයේ ස්වභාවය අනුව ව්‍යාපාරය ගැන වසම් නාමයෙන් පිළිඹිබු විය යුතු විට දී  ඹබ එය කළ යුතුයි. එසේම  එය පිහිටි ස්ථානය ගැන ඉඟි කළ යුතු විට දී ඔබ එය කරන්නේ නම් වඩාත් හොඳයි.
උදා :  edupub.gov.lk - මෙමගින් ශ්‍රී ලංකාවේ(lk), රජයේ (gov), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ (edupub) වෙබ් අඩවිය බව පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්.

6. වටිනාකම සොයා බැලිය යුතුයි.
ඔබ තෝරාගත් වසමෙහි වටිනාකම එහෙමත් නැතිනම් එයින් ඔබ ආයතනයට සිදුවන වාසි ගැන සොයා බැලීමට අමතක නොකළ යුතුයි.

7. අයිතිය ගැන සොයා බැලිය යුතුයි.
එම නම වෙළඳ ලකුණක්, හිමිකම් සහිත හෝ වෙනත් සමාගමක් විසින් භාවිතා කරනු නොලබන්නක් බවට තහවුරු කරගන්නට ඕනා. එසේ නොමැතිනම් අනාගතයේ දී විශාල නීතිමය අවුලක් ඇති වී ඔබේ කාලය, මුදල්, ශ්‍රමය වැය වෙන්නට පුළුවන්.

8. ඉක්මන් කළ යුතුයි.
මෙතෙක් වෙලා සඳහන් කළ ආකාරයට වසමක් සඳහා නමක් තෝරා ගත් විගසම එය ලියාපදිංචි කරන්න, වෙන අයෙකු එය කිරීමට පෙර ඔබ එය ඉටු කර ගන්න.